රට තුළ උග්‍රව පවතින අලි-මිනිස් ගැටුමට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා විදුලි වැට පද්ධතිය ශක්තිමත් කිරීමටත්, වනජීවී ආරක්ෂණ පහසුකම් වැඩිදියුණු කිරීමටත් රජය තීරණය කර ඇත. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා මේ බව සඳහන් කළේ තේනුවර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.

වන රක්ෂිත ආශ්‍රිතව ජීවත් වන ජනතාව අලි-මිනිස් ගැටුම හේතුවෙන් දැඩි අවදානමකට ලක්ව ඇති බවත්, වන අලි ගම්මානවලට ඇතුළු වීම නිසා ගොවිතැන් මෙන්ම පාසල් සහ විහාරස්ථාන ආශ්‍රිත ආරක්ෂාව ද තර්ජනයට ලක්ව ඇති බවත් ප්‍රදේශවාසීන් මෙහිදී පෙන්වා දී තිබේ. ඒ අනුව, වීරක්කොඩිචෝලේ සහ සෙල්ලකන්ද වන රක්ෂිත ආශ්‍රිතව නව විදුලි වැටවල් ඉදිකිරීමට සහ පවතින වැටවල් අලුත්වැඩියා කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

මෙම මෙහෙයුම් කාර්යක්ෂම කිරීම සඳහා සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් 5,000ක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඇති අතර, නිලධාරීන් සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ද ලබා දී ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද අවධාරණය කර ඇත්තේ කෙටි කාලීන විසඳුම්වලට වඩා දිගුකාලීන ප්‍රතිලාභ ලැබෙන ඵලදායී විදුලි වැට පද්ධතියක අවශ්‍යතාවයයි.

තවද, වන අලි ගම්මානවලට පැමිණීම අවම කිරීම සඳහා වන ප්‍රදේශ ආශ්‍රිත වැව් ප්‍රතිසංස්කරණය කිරීමටත්, ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නවීන කෘෂිකාර්මික ක්‍රම සහ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමටත් රජය සැලසුම් කර ඇත. ඉඩම් බෙදාදීමේදී වනජීවී වාසස්ථාන ආරක්ෂා කිරීම සහ රටේ වන ආවරණය 30% දක්වා ඉහළ නැංවීමේ අරමුණ ද සැලකිල්ලට ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version