ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් වඩාත් සාධාරණ සහ සමාන අවස්ථා සහිත සමාජයක් නිර්මාණය කිරීමේ අරමුණින්, මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් පසුගියදා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
“මාධ්‍ය වාර්තාකරණය තුළින් සමාජයේ සමාන සහ සාධාරණ ඉඩකඩක් නිර්මාණය කරමු” යන තේමාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයින්, රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර මහතා සහ වෙරිටේ රිසර්ච් ආයතනයේ නියෝජිතයින් ඇතුළු ක්ෂේත්රයේ ප්‍රවීණයන් රැසක් එක්ව සිටියහ.
ආබාධ සහිත පුද්ගලයන් දෙස අනුකම්පාවෙන් බැලීම වෙනුවට ඔවුන්ගේ සමාජ අයිතිවාසිකම් සහ සාධාරණ අවස්ථා පිළිබඳව මාධ්‍ය තුළින් නිවැරදිව කරුණු වාර්තා කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.
මෙවැනි වැඩසටහන් හරහා ඉදිරියේදී වඩාත් සංවේදී සහ අන්තර්ග්‍රහණය වූ මාධ්‍ය සංස්කෘතියක් ලාංකේය සමාජය තුළ ස්ථාපිත වනු ඇතැයි සංවිධායකයින් අපේක්ෂා පළ කරති.
