ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව වඩාත් ගුණාත්මක සහ කාර්යක්ෂම කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ, රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහායක (PHMA) III ශ්‍රේණියේ නව නිලධාරීන් 228 දෙනෙකු සඳහා පත්වීම් ලබාදීම පසුගියදා සිදු කෙරිණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙම උත්සවය පැවැත්විණි.

රෝහල්වල කළමනාකරණ කටයුතු විධිමත් කිරීම, තොරතුරු හා ලේඛන කළමනාකරණය මෙන්ම රෝගී සත්කාරක සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම මෙම නව පත්වීම්ලාභීන්ගේ ප්‍රධාන වගකීම් වේ. අමාත්‍යාංශය යටතේ පවතින රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල පවතින පුරප්පාඩු අනුව මොවුන් අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇත.

උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සෞඛ්‍ය සේවාව යනු තවත් අයෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට දායක වන උතුම් සේවාවක් බවයි. රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකරන බවත්, අකාර්යක්ෂම ආයතන සමාලෝචනය කර ඒකාබද්ධ කිරීම හෝ කළමනාකාරීත්වය වෙනස් කිරීමට පියවර ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.

තවද, රාජ්‍ය සේවකයින් සඳහා තෘප්තිමත් වැටුප් තලයක් සකස් කිරීමේ වැදගත්කම සහ විශ්‍රාම වැටුප් සුරක්ෂිතතාව තහවුරු කිරීම පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී කරුණු දැක්වීය. ඉදිරියේදී රාජ්‍ය සේවයට 160,000ක පමණ පිරිසක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවත්, නවීන තාක්ෂණය භාවිතයෙන් රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version