ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය වඩාත් සාධාරණ සහ ගුණාත්මක මට්ටමකට පරිවර්තනය කිරීම සඳහා දත්ත මත පදනම් වූ උපායමාර්ගික රාමුවක් හඳුන්වා දීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. කොළඹදී පැවති වැඩමුළුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළේ 2026-2033 සාමාන්‍ය අධ්‍යාපන අංශීය පරිවර්තනීය රාමුව පිළිබඳව අදහස් දක්වමිනි.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින අඩුපාඩු මඟහරවා ගනිමින් විද්‍යාත්මක පදනමක් සහිත ස්ථාවර ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාමේ වගකීම රජයට මෙන්ම නිලධාරීන්ටද පැවරෙන බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. පුද්ගලබද්ධ තීරණ වෙනුවට දත්ත සහ තොරතුරු මත තීන්දු ගැනීම මගින් අධ්‍යාපන පද්ධතියේ විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවිය හැකි බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, අධ්‍යාපනය යනු හුදෙක් සහතිකපත්‍රයකට හෝ රැකියාවකට පමණක් සීමා වූවක් නොවිය යුතු බවයි. ජාතික සංවර්ධනයට දායක වන ආර්ථික වශයෙන් ඵලදායී සහ සදාචාරාත්මක පුරවැසියෙකු බිහි කිරීම අධ්‍යාපනයේ ප්‍රධාන පරමාර්ථය විය යුතු බව ඇය පැවසුවාය.
එමෙන්ම, අධ්‍යාපන පද්ධතිය තුළ දරුවන්ගේ මනෝ සමාජීය යහපැවැත්ම තහවුරු කිරීම සහ පවතින අභියෝගවලට මුහුණ දිය හැකි ආරක්ෂිත පරිසරයක් පාසල් තුළ නිර්මාණය කිරීමේ වැදගත්කමද ඇය පෙන්වා දුන්නාය. මෙම සැලසුම් සාර්ථක කර ගැනීම සඳහා පළාත් මට්ටමින් සාකච්ඡා පවත්වා සමාලෝචන ක්‍රියාවලියක් සිදුකිරීමේ අවශ්‍යතාවද ඇය අවධාරණය කළාය.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
