රත්මලාන සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී මෙම උත්සවය පැවැත්වුණු අතර, ඒ සඳහා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
ආසියා පැසිෆික් කලාපයේ රටවල් දහයකට අධික සංඛ්‍යාවක ස්කවුට් වෘත්තිකයන් සහ කොමසාරිස්වරුන් මෙම තීව්‍ර ස්කවුට් කළමනාකරණ පාඨමාලාව සාර්ථකව නිම කර තිබේ. ශ්‍රී ලංකාව, නේපාලය, මැලේසියාව, තායිලන්තය සහ තායිවානය යන රටවල ස්කවුට් නායකයන් මෙහිදී සහතික ලබා ගත්හ.
උත්සවය අමතමින් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ, අන් අයව දිරිගැන්වීමේ හැකියාව සතු පුද්ගලයන් සැබෑ නායකයන් බවයි. ස්කවුට් ව්‍යාපාරය එවැනි ආදර්ශමත් පුද්ගලයන් බිහි කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරන බවද ඔහු පෙන්වා දුන්නේය.
පාඨමාලාව සාර්ථකව නිම කළ සහභාගිවන්නන්ට සිය දැනුම සහ කුසලතා භාවිත කරමින් සමාජයට යහපත් බලපෑමක් කිරීමට කටයුතු කරන ලෙසද ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් උනන්දු කළේය.
මෙම අවස්ථාව සඳහා ලෝක ස්කවුට් ව්‍යාපාරයේ ආසියා පැසිෆික් කලාපීය කමිටුවේ සභාපති දාතෝ ආචාර්ය මොහොමඩ් සින් බින් බිඩින් මහතා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ ශ්‍රී ලංකා ස්කවුට් සංගමයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
