සංවිධානාත්මක අපරාධකරුවකුට පහසුකම් සැලසීම වෙනුවෙන් ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් නීතිඥ රඛිත නිර්මල රාජපක්ෂ, චරිත වසන්ත කුමාර අබේසිංහ සහ අරුණ ශ්‍රී චතුරංග යන සැකකරුවන් ලබන 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.
මෙම නඩුවට අදාළව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, සැකකරුවන් තිදෙනා අතර දුරකථන ඇමතුම් 1300කට අධික ප්‍රමාණයක් හුවමාරු වී ඇති බවයි. එසේම, හරක් කටා නමැත්තාගේ බිරිඳ විසින් මෙම අල්ලස් මුදල් ලබා දුන් බවට තහවුරු කරන වීඩියෝ පටයක් සහ දුරකථන පටිගත කිරීම් ඇතුළත් සාක්ෂි අල්ලස් කොමිසම වෙත ලැබී ඇති බවද පැවසේ.
අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ, මෙම අල්ලස් මුදල් ස්වාමීන් වහන්සේ නමක් හරහා ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු වෙත ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. සැකකරුවන් විදේශගතව සිටි බවට ආගමන විගමන වාර්තා මගින් තහවුරු වී ඇති අතර, ඔවුන් විශාල සමාගම් කිහිපයක් සමඟ මූල්‍ය ගනුදෙනු පවත්වා ඇති බවටද විමර්ශනවලදී හෙළි වී තිබේ.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඇප ඉල්ලීම් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අතර, රඛිත නිර්මල රාජපක්ෂ මහතා ‘ස්ලිප් ඇප්නියා’ රෝගී තත්ත්වයෙන් පෙළෙන බවත්, බන්ධනාගාරය තුළ ඔහුට අවශ්‍ය වෛද්‍ය පහසුකම් නොමැති බවත් පෙන්වා දුන්හ. කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, ඇප ලබා දීම සම්බන්ධයෙන් වන නියෝගය ලබන 28 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.
