වත්මන් සමාජයේ වයස්ගත වන ජනගහනය සමඟ වැඩිහිටියන් මුහුණ දෙන මානසික සහ කායික සෞඛ්‍ය ගැටලු සැලකිල්ලට ගනිමින්, නේවාසික වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානවල ප්‍රමිතිය ඉහළ නැංවීමට බලධාරීන් තීරණය කර ඇත. මේ සඳහා වැඩිහිටි ලේකම් කාර්යාලය සහ වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික සභාව එක්ව නව නියෝග සහ මාර්ගෝපදේශ මාලාවක් සකස් කරමින් පවතී.
නව මාර්ගෝපදේශ යටතේ වැඩිහිටි නිවාසවල සේවක අනුයුක්ත කිරීම් වඩාත් විධිමත් කෙරේ. විශේෂ රැකවරණ අවශ්‍යතා සහිත සහ විවිධ රෝගාබාධවලින් පෙළෙන වැඩිහිටියන් වෙනුවෙන් ඒ සඳහාම විශේෂ පුහුණුවක් ලැබූ සාත්තු සේවකයන් සිටීම අනිවාර්ය වේ. විශේෂයෙන්ම මානසික රෝගාබාධවලින් පෙළෙන වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති කාර්ය මණ්ඩලයක් යෙදවීම අනිවාර්ය කර ඇත.
එමෙන්ම, මානසික රෝගාබාධ සහිත වැඩිහිටියන් සාමාන්‍ය වැඩිහිටියන්ගෙන් වෙන් කර වෙනම ස්ථානගත කිරීමේ අවශ්‍යතාවය ද මෙම නව නීති මගින් අවධාරණය කරයි. වැඩිහිටියන් ඇඳන්වල ගැටගසා තැබීම වැනි අමානුෂික ක්‍රියාවන් වැළැක්වීම සහ ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම මෙහි ප්‍රධාන අරමුණකි.
වැඩිහිටි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ 16(2) වගන්තියට අනුව, වැඩිහිටියන් පස් දෙනෙකුට වඩා රඳවා ගන්නා ඕනෑම ආයතනයක් ජාතික සභාවේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ. දැනට ලියාපදිංචි නොවූ ආයතන විශාල ප්‍රමාණයක් රට තුළ පවතින අතර, ඉදිරියේදී එවැනි ආයතන සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය සූදානම් වේ.
ලියාපදිංචි වීමේ ක්‍රියාවලියේදී සෞඛ්‍යමය පහසුකම් සහ ප්‍රමිතීන් සපුරාලීම අනිවාර්ය වන අතර, ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශ ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. වැඩිහිටි නිවාසවල විනිවිදභාවය සහ රැකවරණය තහවුරු කිරීම සඳහා මෙම නව ප්‍රතිපත්ති රාමුව ඉදිරියේදී බලාත්මක කිරීමට නියමිතය.
