ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ ගෝලීය කෘතිම බුද්ධි (AI) පාලන සංවාදය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් උසස් මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් එක්ව සිටියහ. මෙම සමුළුව කෘතිම බුද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කිරීම අරමුණු කරගනිමින් එක්සත් ජාතීන්ගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබුණි.
ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිත සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම දූත පිරිස සමුළුවට සහභාගී විය. ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සහ තානාපති සුමිත් දසනායක මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) බන්දුල හේරත් මහතා ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ.
ලෝකය කෘතිම බුද්ධිය මත පදනම් වූ අනාගතයක් කරා ගමන් කරන මොහොතක, සාධාරණ සහ ආරක්ෂිත ඩිජිටල් පාලන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම පිළිබඳව ශ්‍රී ලංකාව මෙහිදී කරුණු පැහැදිලි කළේය. ඩිජිටල් සමානාත්මතාවය සහ ඇතුළත් කරගත් සංවර්ධන ක්‍රියාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකාව සතු කැපවීම ද මෙහිදී අවධාරණය කෙරිණි.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම සමුළුව, ජාත්‍යන්තර කෘතිම බුද්ධි සහයෝගීතාවය වෙනුවෙන් බිහි වූ ලොව ප්‍රථම ගෝලීය වේදිකාව ලෙස සැලකේ. ජූලි 06 සිට 10 දක්වා පැවති මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකා නියෝජිතයින් තොරතුරු සමාජය පිළිබඳ ලෝක සමුළුව (WSIS) සහ ‘AI for Good Global Summit 2026’ යන ජාත්‍යන්තර සමුළු මාලාවන් සඳහා ද සහභාගී වී ඇත.
