ලංකා කාන්තා ව්‍යවසායකයින්ගේ වාණිජ මණ්ඩලය (CCWE) විසින් සංවිධානය කරනු ලබන ‘CCWE විලාසිතා සතිය සහ ජාත්‍යන්තර සමුළුව – 2026’ පසුගියදා කොළඹදී උත්සවාකාරයෙන් ආරම්භ විය. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය එක්ව සිටියාය.
ජූලි 16 සිට 19 දක්වා පැවැත්වෙන මෙම වැඩසටහන ‘Threads of Inclusion – Woven from Every Walk of Life’ යන තේමාව යටතේ ක්‍රියාත්මක වේ. දකුණු ආසියානු කලාපයේ කාන්තා ව්‍යවසායකයින්, නිර්මාණකරුවන් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් රැසක් මෙම සමුළුවට එක්ව සිටීම විශේෂත්වයකි.
උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, විලාසිතා ක්ෂේත්‍රය යනු කාන්තාවන්ගේ විවිධත්වය සහ අනන්‍යතාවය ප්‍රකාශ කළ හැකි බලවත් මාධ්‍යයක් බවයි. ඒ හරහා සමාජයේ කාන්තාවන් කෙරෙහි පවතින සම්ප්‍රදායික මතවාද සහ සීමාවන් අභියෝගයට ලක් කිරීමට හැකි බවද ඇය පැවසුවාය.
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යවසායකත්ව ක්ෂේත්‍රය තුළ කාන්තාවන් ඉටුකරන කාර්යභාරය අගය කළ අග්‍රාමාත්‍යවරිය, මෙවැනි වැඩසටහන් මගින් කාන්තා ව්‍යවසායකයින්ට නව වෙළඳපොළ අවස්ථා සහ ජාත්‍යන්තර දායකත්වය ලබා ගැනීමට මග පෑදෙන බව අවධාරණය කළාය.
මෙම අවස්ථාව සඳහා ලංකා කාන්තා ව්‍යවසායකයින්ගේ වාණිජ මණ්ඩලයේ සභාපතිනි ආචාර්ය අයන්තී ගුරුසිංහ මහත්මිය ඇතුළු සාමාජිකාවන් සහ තානාපති කාර්යාල නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
