සිලෝන් මූර් ලේඩීස් යූනියන් (CMLU) සංවිධානයේ 90 වැනි සංවත්සර උත්සවය පසුගියදා කොළඹ රාමඩා හෝටලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දශක නවයක් පුරා අඛණ්ඩව සමාජ සේවයේ නිරත වෙමින් එම සංවිධානය ඉටුකර ඇති මෙහෙවර අග්‍රාමාත්‍යවරිය මෙහිදී ඇගයීමට ලක් කළාය. ස්වේච්ඡා සංවිධානයක් ලෙස මෙතරම් දීර්ඝ කාලයක් සමාජයේ විවිධ අවශ්‍යතාවන්ට අනුගත වෙමින් කටයුතු කිරීම ප්‍රශංසනීය බව ඇය සඳහන් කළාය.
කාන්තාවන් අධ්‍යාපනය, ආර්ථිකය සහ නායකත්වය වැනි ක්ෂේත්රයන්හි සමාන අවස්ථා ලබා ගනිමින් ජාතික සංවර්ධනයට දායක කර ගැනීම රටක ප්රගමනයට අත්‍යවශ්‍ය සාධකයක් බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරන බවද ඇය පැවසුවාය.
සමාජ ගැටලු විසඳීමේදී රජයේ ප්‍රතිපත්තිවලට අමතරව සිවිල් සමාජ සංවිධානවල දායකත්වය අතිශය වැදගත් බව අගමැතිනිය අවධාරණය කළාය. දරුවන් සුරැකීම සහ පවුල් ඒකක ශක්තිමත් කිරීම සඳහා රජය සහ මෙවැනි සංවිධාන අතර පවතින හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය කරගත යුතු බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කථානායක ආචාර්ය රිස්වි සාලි, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සහ කොළඹ නගරාධිපති ව්රේ කැලී බල්තසාර් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
