ගල්කිස්ස, ටෙම්පල් පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට වෙඩි තැබීමට නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගත් උත්සාහයක් ව්‍යර්ථ වී ඇති බව පොලිසිය පවසයි. මෙම සිදුවීම පසුගිය 21 වන දින රාත්‍රී කාලයේදී සිදුව තිබේ.
නිවසේ උඩුමහලේ රූපවාහිනිය නරඹමින් සිටි අවස්ථාවේදී නිවසට ඇතුළු වූ සැකකරුවන් දෙදෙනා, නිවෙස් හිමියාගෙන් නම විමසා වෙඩි තැබීමට උත්සාහ කර ඇත. කෙසේ වෙතත්, ඔවුන් සතුව තිබූ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම උත්සාහය අසාර්ථක වී තිබේ.
සැකකරුවන් එම අවස්ථාවේදී නිවෙස් හිමියාට පයින් සහ පුටුවකින් පහර දී ඇති අතර, ඉන් ඔහුට සුළු තුවාල සිදුව ඇත. පහරදීමෙන් පසු එම පුද්ගලයා අසල නිවසකට පලාගොස් සැඟවී සිට ඇති අතර, සැකකරුවන් එහි ගොස් දොරට තට්ටු කර පලාගොස් තිබේ.
පහරකෑමට ලක්වූ පුද්ගලයා වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කරන්නෙකු බව අනාවරණය වී ඇත. ඔහුගේ පුත්‍රයා මීට පෙර ගංජා ප්‍රවාහනය සහ මනුෂ්‍ය ඝාතනයකට අනුබල දීම යන චෝදනා යටතේ අත්අඩංගුවට පත්වූවෙකු බව පොලිසිය සඳහන් කරයි.
මෙම වෙඩි තැබීමේ උත්සාහයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගල්කිස්ස පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
