2026 වසරේ ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව පුරා සිදුවූ වෙඩි තැබීම් සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම සිදුවීම්වලින් පුද්ගලයින් 14 දෙනෙකු සිය ජීවිතවලින් වන්දි ගෙවා ඇති අතර, මේවායින් බහුතරයක් පාතාල කණ්ඩායම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර පවතින ගැටුම්වල ප්‍රතිඵල බව අනාවරණය වී ඇත.
පසුගිය දිනවල වත්තල සහ දෙමටගොඩ ප්‍රදේශවලින් වාර්තා වූ වෙඩි තැබීම් සිදුවීම් මහජනතාව තුළ දැඩි බියක් ඇති කර තිබේ. විශේෂයෙන්ම පොදු ස්ථානවල සහ කාර්යබහුල මාර්ගවල ගිනි අවි භාවිත කරමින් සිදුකරන මෙවැනි ප්‍රහාර, සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව කෙතරම් අවදානමකට ලක්ව ඇත්ද යන්න පිළිබඳව යළි සිතා බැලීමට බලධාරීන්ට සිදුව ඇත.
රජය මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම් මැඩලීමට විවිධ මෙහෙයුම් දියත් කළ ද, දිනපතා වාර්තා වන මෙවැනි අපරාධවලින් පෙනී යන්නේ එම පියවරවල සාර්ථකත්වය පිළිබඳව සමාජය තුළ ප්‍රශ්න මතු වී ඇති බවයි. අපරාධකරුවන්ට නීතියේ රැහැනින් බේරී යා හැකි බවට පවතින විශ්වාසය බිඳ දැමීම ආරක්ෂක අංශවල වගකීමකි.
පොලිසිය විසින් රථවාහන පරීක්ෂා කිරීම්වලට පමණක් සීමා නොවී, මෙවැනි පාතාල ක්‍රියාකාරකම් සහ ගිනි අවි භාවිතය වැළැක්වීම සඳහා බුද්ධි අංශ මෙහෙයුම් සහ මාර්ග බාධක පරීක්ෂා කිරීම් වඩාත් කාර්යක්ෂම කළ යුතුව ඇත. බියෙන් සැකයෙන් තොරව ජීවත් වීමට අවශ්‍ය පරිසරය සකසා දීම පාලකයන්ගේ පරම වගකීමක් බව සිහිපත් කළ යුතුය.
