බෙල්ලන්විල, බොරලැස්ගමුව ඇවිදින මංතීරුව අසල අවන්හලක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සිද්ධිය වී පැය කිහිපයක් ගතවීමටත් පෙර නවගමුව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 55 හැවිරිදි මල්ලවආරච්චිගේ නෙල්සන් සුදත් නැමැති අයෙකි. ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් ඔහුට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලාගොස් තිබූ අතර, පසුව රෝහල්ගත කිරීමේදී ඔහු මියගොස් ඇත.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා යුද හමුදාවෙන් පලාගිය සෙබලෙකු බවත්, ඔහු මින්නේරිය හමුදා කඳවුරේ ගිනි අවි සොරකම් කිරීමේ සිද්ධියකට ද සම්බන්ධ අයෙකු බවත්ය. සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

සැකකරුවන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී ‘සැන්ඩෝ’ නැමැත්තෙකු වෙත යවා තිබූ කෙටි පණිවුඩයක් හමුවී ඇති අතර, එහි “ඔයා කියන කොළපාට ඇඳුම ඇඳන් ඉන්න කෙනා ඉන්නවා, එළියට ආවහම ගහන්නම්” යනුවෙන් සඳහන්ව තිබූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම බකමූණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. සිද්ධියට යොදාගත් ගිනි අවිය සොයා ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය සහ නවගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version