ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දැනට පවතින විනිසුරු පුරප්පාඩු අටක් පිරවීමට ජනාධිපතිවරයා මේ දක්වා පියවර නොගැනීම බරපතළ ව්‍යවස්ථාමය ගැටලුවක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති, නීතීඥ රජීව් අමරසූරිය මහතා ප්‍රකාශ කළේය.
රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ, ව්‍යවස්ථාවට අනුව අදාළ තනතුරු සඳහා නම් යෝජනා කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් වුවද, මාස ගණනාවක් තිස්සේ එම පත්කිරීම් මඟහැර සිටීම සම්ප්‍රදායන් සහ ව්‍යවස්ථානුකූල නීති උල්ලංඝනය කිරීමක් බවයි.
අධිකරණ පද්ධතියේ සිදුකිරීමට යෝජිත වෙනස්කම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ, මෙවැනි සංශෝධනයක අවශ්‍යතාවයක් පවතී නම් ඒ පිළිබඳව පළමුව විවෘතව සාකච්ඡා කළ යුතු බවයි. රජයට සැබෑ වුවමනාවක් ඇත්නම්, ජනමත විචාරණයකට ගොස් ජනතාවගෙන් අදහස් විමසීම වඩාත් සුදුසු බව ඔහු අවධාරණය කළේය.
“මේක ඇත්තටම දූෂණයක්. මේ වෙලාවේ අවශ්‍ය දෙයක් නෙවෙයි. වැඩි කරන්න ඕන නම් අපි සාකච්ඡා කරලා බලමු. කෙලින්ම ජනමත විචාරණයකට ගොස් ජනතාවගෙන් අහන්න. කවුරු මොනවා කිව්වත් අවසානයේ බලය තියෙන්නේ ජනතාව අතේ,” යනුවෙන් නීතීඥ රජීව් අමරසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් රජය සහ ජනාධිපතිවරයා නැවතත් සිතා බැලිය යුතු බවත්, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සහ කාර්යක්ෂමතාව ආරක්ෂා කර ගැනීම සඳහා වහා පියවර ගත යුතු බවත් නීතීඥ සංගමය අවධාරණය කර සිටී.
