බෞද්ධ ජනතාවගේ අතිශය වැදගත් පොහොය දිනයක් වන ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී ඇත. බුද්ධ චරිතයට හා ශාසනික ඉතිහාසයට අදාළ සුවිශේෂී සිදුවීම් රැසක් මෙම දිනය හා බැඳී පවතී.
බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම, සිදුහත් කුමරු මහා අභිනිෂ්ක්‍රමණය කිරීම සහ රාහුල කුමරුන්ගේ උපත සිදුවූයේ ඇසළ පොහොය දිනකදීය. එසේම, බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම සහ තව්තිසා දෙව්ලොව වැඩම කර අභිධර්මය දේශනා කිරීම ද මෙම පොහොය දිනයේ සිදු වූ සුවිශේෂී සිදුවීම් වේ.
ලක්දිව ශාසනික ඉතිහාසය දෙස බලන විට, අරිට්ඨ කුමරු ඇතුළු පිරිස පැවිදි උපසම්පදාව ලබා ගැනීම සහ දන්ත කුමරු හා හේමමාලා කුමරිය විසින් දන්ත ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවීම වැනි වැදගත් සිදුවීම් ඇසළ පොහොය දිනයට සමගාමීව සිදුවිය.
තවද, විහාරස්ථානවල වැඩවසන මහා සංඝරත්නය වස් විසීම ආරම්භ කරනු ලබන්නේ ද අද වැනි ඇසළ පුර පසළොස්වක පොහොය දිනයකදීය. මෙම උතුම් පොහොය දිනය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.
