අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 වසර සඳහා වන අයවැය යෝජනා පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
මෙහිදී අධිකරණ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය. මහජනතාවට කඩිනමින් යුක්තිය ඉටු කිරීමේ අරමුණින් කොළඹ, ගාල්ල, මාතලේ සහ කන්තලේ ඇතුළු ප්‍රදේශවල නව අධිකරණ සංකීර්ණ ඉදිකිරීමේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා විමසා බැලීය. ආර්ථික අර්බුදය හේතුවෙන් අතරමග නතර වූ විනිසුරුවරුන්ගේ නිල නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති යළි ආරම්භ කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ නවීන පහසුකම් ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය. එමගින් මසකට නිකුත් කෙරෙන වාර්තා සංඛ්‍යාව 9,000 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන යටතේ සිදු කෙරෙන නවීකරණ කටයුතු සහ තාක්ෂණික උපාංග මිලදී ගැනීම් පිළිබඳව ද මෙහිදී සමාලෝචනය විය. මීට අමතරව, සමාජ සවිබල ගැන්වීම් සහ පුනරුත්ථාපන වැඩසටහන් වඩාත් විධිමත් කිරීම සඳහා අදාළ ආයතන ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් පිරිසක් එක්ව සිටියහ.
