මහර බන්ධනාගාරය තුළ පසුගිය දිනක ඇති වූ කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. රැඳවියන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් ලෙස පෙනෙන්නට තිබුණද, එක්වරම දහසකට ආසන්න පිරිසක් ඊට සම්බන්ධ වීම බරපතළ සැකයක් මතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම සිද්ධිය අතරතුර බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් කාර්යාලය, මුළුතැන්ගෙය, කර්මාන්ත අංශය සහ බෙහෙත් ලබාගන්නා ස්ථානය ඇතුළු කොටස් රැසක් ගිනි තබා විනාශ කර තිබේ. මෙය මීගමුව බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටුමට වඩා වෙනස්, බන්ධනාගාර පාලන තන්ත්‍රය අඩපණ කිරීමේ අරමුණින් සිදු කළ ක්‍රියාවක් බව පෙනෙන්නට ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සිද්ධියෙන් එක් රැඳවියෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති අතර, බන්ධනාගාර නිලධාරීන්ට කිසිදු හානියක් සිදුව නොමැත. මේ වන විට විශේෂ කාර්ය බළකාය, පොලිසිය සහ යුද හමුදාවේ සහාය ඇතිව බන්ධනාගාරයේ ආරක්ෂාව තර කර ඇත.

බන්ධනාගාර තදබදය අවම කිරීම සහ නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා මේ වන විටත් කමිටුවක් පත් කර ඇති බව අමාත්‍යවරයා පැවසීය. බදු ගෙවන ජනතාවගේ මුදලින් ගොඩනැගූ රාජ්‍ය දේපළ විනාශ කිරීමේ ප්‍රතිවිපාක පිළිබඳව රැඳවියන්ගේ දෙමාපියන් ද අවබෝධ කරගත යුතු බව ඔහු අවධාරණය කළේය.

තවත් බන්ධනාගාර කිහිපයක මෙවැනි තත්ත්වයන් ඇති විය හැකි බවට තොරතුරු ලැබී ඇති බැවින්, ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බවත්, ඕනෑම අභියෝගයක් පාලනය කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version