කොළඹ පැවැත්වෙන ජාත්‍යන්තර අධ්‍යයන සංගමයේ (ISA) දකුණු ආසියානු සමුළුවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ බව ප්‍රකාශ කළාය. දකුණු ආසියාවේ අනාගතය තීරණය වන්නේ හුදෙක් ආර්ථික තරඟකාරිත්වය මත පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය සහ කලාපීය සහයෝගීතාව මත බව ඇය අවධාරණය කළාය.

රජය වෙනම ව්‍යුහයක් ලෙස සිටිමින් ජනතාව පාලනය කරන ක්‍රමවේදයෙන් බැහැරව, ජනතාව සමඟ එක්ව පාලනය කරන විනිවිද පෙනෙන රාජ්‍යයක් ගොඩනැගීම වත්මන් රජයේ අරමුණ බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. ආයතනික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළින් රටේ දේශපාලන සහ ආර්ථික පරිවර්තනයක් සිදුවෙමින් පවතින බවත් ඇය පෙන්වා දුන්නාය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින විභාග කේන්ද්‍රීය ක්‍රමවේදය වෙනස් කර, වෘත්තීය අවස්ථා සහ සමාජයට වැඩදායි පුරවැසියන් බිහිකරන ක්‍රමවේදයක් වෙත රට ගමන් කරන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. ශ්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාවයි.

රටේ ආර්ථික ප්‍රගතිය සහ ආයෝජන අවස්ථා පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ, දූෂණයෙන් තොර පාලනයක් සඳහා ජාත්‍යන්තරව ලැබෙන පිළිගැනීම ශ්‍රී ලංකාව ආයෝජන සඳහා යෝග්‍ය ගමනාන්තයක් බවට පත් කර ඇති බවයි. දරිද්‍රතාව ජයගැනීම සඳහා රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, රටේ සංවර්ධන ගමනට සහයෝගය ලබා දෙන ලෙස ජාත්‍යන්තර හවුල්කරුවන්ට ආරාධනා කළාය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version