ගල්කිස්ස දූෂණ මර්දන අංශය විසින් රත්මලාන, ගොනා කෝවිල ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී තියුණු ආයුධ රැසක් සහ මෙරට නිෂ්පාදිත අත්බෝම්බයක් සමඟ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර කඩු තුනක්, කෙටේරියක්, කිනිසි තුනක් සහ ජංගම දුරකථන අටක් ද වේ. මීට අමතරව, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් ලක්ෂ තුනක මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇත.

මෙම වැටලීම සිදුකර ඇත්තේ රත්මලාන, ආතර් පෙදෙස ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවය. සැකකරුවන් පවත්වාගෙන ගිය නිවසේ දොරටුවේ ‘සුපුන් සර්පයා ඇතුළුවීම තහනම්’ යනුවෙන් සඳහන් කර තිබූ බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22ත් 51ත් අතර පසුවන රත්මලාන, නාවලපිටිය සහ ඇහැලියගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. මොවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රඳවා තබා ගැනීමේ නියෝග මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version