ශ්‍රී ලංකාව තුළ නවෝත්පාදන සහ පර්යේෂණ ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීම උදෙසා අවශ්‍ය යටිතල පහසුකම්, මූල්‍ය ප්‍රතිපාදන සහ ආයතනික සහයෝගීතාව ලබා දීමට රජය පූර්ණ කැපවීමෙන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

විශ්වවිද්‍යාල සහ රාජ්‍ය ආයතන ඒකාබද්ධව තාක්ෂණික ඉන්කියුබේටර් මධ්‍යස්ථාන ක්‍රියාත්මක කරමින් ව්‍යවසායකත්වය සහ තාක්ෂණය වාණිජකරණය කිරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. මේ වන විට ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව හරහා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය සහ ප්‍රධාන විශ්වවිද්‍යාල කිහිපයකම මෙම මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ විද්‍යා තාක්ෂණ අංශය හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තාක්ෂණික සහාය, ගුණාත්මක පරීක්ෂණ සහ ව්‍යාපාරික උපදේශන සේවා සැපයීම සිදු කෙරේ. මීට අමතරව, නවෝත්පාදකයින් සඳහා සහනදායී ණය යෝජනා ක්‍රම සහ මූල්‍ය ආධාර ලබා දීමට ජාතික නවෝත්පාදන ඒජන්සිය හරහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ.

විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන සහ පෞද්ගලික අංශය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් අපනයන ඉලක්ක කරගත් පර්යේෂණ සිදු කෙරෙන බව ද ඇය පැවසුවාය. ඉන්දියාව සමඟ අත්සන් කර ඇති ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘති ඇතුළු ජාත්‍යන්තර සහයෝගීතාවන් හරහා දේශීය නවෝත්පාදන ක්ෂේත්‍රය ගෝලීය මට්ටමට ඔසවා තැබීමට රජය අපේක්ෂා කරයි.

බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සුරැකීම සහ තාක්ෂණික තොරතුරු වෙත ප්‍රවේශ වීම සඳහා ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ සහාය ඇතිව ස්ථාපිත කර ඇති මධ්‍යස්ථාන ජාලය ද මේ වන විට රට පුරා ආයතන 25ක පමණ සාර්ථකව ක්‍රියාත්මක වන බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version