රජය විසින් ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත මගින් අධිකරණ පද්ධතියේ විනිසුරුවන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමට යෝජනා කර ඇත. ඒ අනුව, අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ සංඛ්‍යාව සභාපතිවරයා ද ඇතුළුව 19 සිට 25 දක්වා වැඩි කිරීමට නියමිතය.

ඊට සමගාමීව, මහාධිකරණ විනිසුරුවන්ගේ සංඛ්‍යාව 100 සිට 120 දක්වා ඉහළ නැංවීමට ද පියවර ගෙන තිබේ. අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වන මෙම පනත් කෙටුම්පත පසුගිය බ්‍රහස්පතින්දා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ගැසට් කරන ලදී.

නව සංශෝධන යෝජනා අනුව මහාධිකරණ විනිසුරුවන් සහ මහේස්ත්‍රාත්වරුන් ඇතුළු සියලුම විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 දක්වා දීර්ඝ කිරීමට යෝජනා වී ඇත. මීට අමතරව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67ක් ලෙසත්, අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65ක් ලෙසත් මෙම කෙටුම්පතේ සඳහන් වේ.

එමෙන්ම අගවිනිසුරුගේ ධුර කාලය සම්බන්ධයෙන් ද නව නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දී ඇත. ඒ අනුව, අගවිනිසුරුගේ ධුර කාලය වයස අවුරුදු 67 සම්පූර්ණ වන දිනයෙන් හෝ එම ධුරයට පත්වී වසර 6ක් සම්පූර්ණ වන දිනයෙන්, කලින් එළඹෙන දිනයෙන් අවසන් වනු ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version