ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ අද්විතීය සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් සකස් කළ නව පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. දඹාන ආදිවාසී කෞතුකාගාර පරිශ්‍රයේ පැවති ජාත්‍යන්තර ආදිවාසී දින සැමරුම් උත්සවයට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

මෙම පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත යොමු කර ඇත්තේ අමාත්‍ය සුනිල් සෙනෙවි මහතාගේ මැදිහත්වීමෙනි. පනත සම්බන්ධයෙන් වන සාකච්ඡා ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කිරීමට නියමිත අතර, එය පවතින අනෙකුත් නීති පද්ධතීන් සමඟ ගැටුමක් ඇති නොවන පරිදි සකස් කිරීමට අවශ්‍ය කමිටු පත් කිරීමට රජය පියවර ගනිමින් සිටී.

ආදිවාසී ජනතාවගේ දෛනික ජීවිතයට බලපාන වනාන්තර ප්‍රවේශය, ප්‍රජාව ලියාපදිංචි කිරීම සහ ඔවුන් සඳහා නිල හැඳුනුම්පත් නිකුත් කිරීම වැනි ගැටලු විසඳීම සඳහා පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ගැසට් නිවේදනයකට ද අත්සන් තබා ඇත.

සංවර්ධන ව්‍යාපෘති සහ ජාතික වනෝද්‍යාන ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් ආදිවාසී ජනතාවගේ ඉඩම් අයිතිය සහ සාම්ප්‍රදායික ජීවන රටාව අභියෝගයට ලක්ව ඇති බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පිළිගත්තාය. සංවර්ධනය යනු ආදිවාසී උරුමයන් විනාශ කිරීමක් නොවිය යුතු බව ඇය අවධාරණය කළාය.

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් මහතා පෙන්වා දුන්නේ, රටට නීති අවශ්‍ය වුවද ඒවා ආදිවාසී ජනතාවගේ සංස්කෘතිය සහ අයිතිවාසිකම්වලට ගරු කරමින් සකස් විය යුතු බවයි. නව නීති සම්පාදනයේදී සිය ප්‍රජාවේ අදහස් ද සැලකිල්ලට ගන්නා ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version