පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඇප මත මුදා හැරීමට කඩුවෙල ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඊයේ (10) නියෝග කළේය.
මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරුන් කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ ප්‍රකාශය මගින් පොලිස්පතිවරයාට මරණ තර්ජනයක් සිදු කර නොමැති බවයි. කෙසේ වෙතත්, දේශපාලන නායකයෙකු ලෙස සමාජය තුළ වගකීමෙන් යුතුව භාෂාව භාවිත කළ යුතු බව අවධාරණය කළ මහෙස්ත්‍රාත්වරයා, සිද්ධිය සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කිරීමට සැකකරු සූදානම් දැයි විමසා සිටියේය.
එම අවස්ථාවේදී සාගර කාරියවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ, අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් තම සේවාදායකයා කනගාටුව ප්‍රකාශ කිරීමට කැමති බවයි. ඒ අනුව, රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට නියෝග කෙරිණි.
අධිකරණය විසින් සාගර කාරියවසම් මහතාට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති අතර, ඒ පිළිබඳව ආගමන විගමන පාලකවරයා දැනුවත් කරන ලෙසට ද නියෝග කරන ලදී. සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන වාර්තා සැප්තැම්බර් 24 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
