ශ්‍රී ලංකාව සඳහා නව චීන තානාපති සහ පූර්ණ බලධාරී වෙයි හුවාක්සියැං මහතා සිය ධුරයේ කටයුතු භාර ගැනීම සඳහා අද (11) දිවයිනට පැමිණියේය. මෙරටට පැමිණීමෙන් අනතුරුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මෙම නව පත්වීම පිළිබඳ තම සතුට පළ කර තිබේ.
ශ්‍රී ලංකාවේ පොහොසත් ඉතිහාසය, ස්වාභාවික පරිසරය සහ ආගන්තුක සත්කාරයට ලැදි ජනතාව පිළිබඳව තම අගය කිරීම ප්‍රකාශ කර ඇති තානාපතිවරයා, දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉදිරියටත් තවදුරටත් ශක්තිමත් කරන බවට ප්‍රතිඥා දී ඇත.
ඉතිහාසයේ සිට පැවත එන සමුද්‍රීය හා සංස්කෘතික හුවමාරු මෙන්ම ඓතිහාසික රබර්-සහල් ගිවිසුම සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙහිදී ඔහු විශේෂයෙන් සිහිපත් කර තිබේ. එක් තීරයක් එක් මාවතක් සංකල්පය යටතේ දෙරට අතර සහයෝගීතාව විවිධ ක්ෂේත්‍ර හරහා පුළුල් වී ඇති බවත්, ඉන් ජනතාවට සැබෑ ප්රතිලාභ ලැබී ඇති බවත් හුවාක්සියැං මහතා පෙන්වා දී ඇත.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ශ්‍රී ලංකා නායකයන් අතර මීට පෙර පැවති හමුවීම් මගින් ද්විපාර්ශ්වික සබඳතා සඳහා නව උපායමාර්ගික දිශානතියක් ලැබී ඇති බව ඔහු සඳහන් කර තිබේ. අසල්වැසි රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලදී ශ්‍රී ලංකාවට මුල්තැනක් ලබා දෙන බව පවසන තානාපතිවරයා, මෙරට ආර්ථික සංවර්ධනයට සහ ජනතාවගේ ජීවනෝපායන් නංවාලීමට අඛණ්ඩව සහාය වීමට සූදානම් බව දන්වා ඇත.
එළඹෙන 2027 වසරේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 70 වන සංවත්සරය සහ රබර්-සහල් ගිවිසුමේ 75 වන සංවත්සරය යෙදී ඇති බවත්, සාම්ප්‍රදායික මිත්‍රත්වය ගැඹුරු කිරීම සඳහා සියලු පාර්ශ්ව සමඟ සමීපව කටයුතු කරන බවත් නව තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
