ඉන්දියාවේ කොල්කටා නගරයේ කෙස්ටෝපූර් ප්රදේශයේදී අවාසනාවන්ත රිය අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ. රියදුරු බලපත්ර පරීක්ෂණයකට සූදානම් වෙමින් සිටි 42 හැවිරිදි කාන්තාවක් තමන් පැදවූ මෝටර් රථය පාලනය කරගත නොහැකිව අසල තිබූ පොකුණකට වැටීමෙන් මෙම මරණය සිදුව ඇත.
මියගිය කාන්තාව සිය දියණිය පාසලට ඇරලවා පැමිණීමෙන් අනතුරුව, නිවසේ තිබූ මෝටර් රථය රිය පැදවීමේ පුහුණුව සඳහා පිටතට ගෙන තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී ඇය තිරිංග වෙනුවට අත්වැරදීමකින් ඇක්සලරේටරය තද කිරීම හේතුවෙන් රථය වේගයෙන් පොකුණ දෙසට ඇදී ගොස් තිබූ බව පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෝටර් රථය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබූ අතර, ගිනි නිවීම් අංශය සහ පොලිසිය එක්ව පැයකට වැඩි කාලයක් සිදුකළ මෙහෙයුමකින් පසු රථය ගොඩගෙන තිබේ. එහිදී රථයේ පිටුපස දොර දෙසට මුහුණ ලා සිටි කාන්තාවගේ සිරුර සොයාගෙන ඇත. ඇය රථය ජලයෙන් යටවෙමින් තිබියදී ඉන් පිටතට පැමිණීමට දැඩි උත්සාහයක් දරා ඇති බව පෙනෙන්නට තිබූ බව පොලිසිය පවසයි.
මියගිය කාන්තාවගේ සැමියා විසින් මෑතකදී මෙම රථය මිලදී ගෙන තිබූ අතර, ඇයගේ රියදුරු බලපත්ර පරීක්ෂණය අගෝස්තු 22 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණි. මේ වන විට ඇයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රෝහල වෙත යොමු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මක වේ.
