එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුහුදු කලාපයට සිදුවූ හානිය පිළිබඳව රජය විසින් තවදුරටත් පුළුල් සොයා බැලීමක් සිදුකළ යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කරති.

ජනාධිපති කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ සම සහාපතිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙහිදී රජයට පවරා ගත් කතෝලික පාසල්වල පවතින පරිපාලන ගැටලු සහ කතෝලික ධර්මය ඉගැන්වීම සඳහා ගුරු මණ්ඩලයක් පත්කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳවද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි. අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය ලබා ගනිමින් මෙම ගැටලු නිරාකරණය කර ගැනීමේ වැදගත්කම කාදිනල් හිමිපාණන් පෙන්වා දුන්හ.

ආගමික භේදයකින් තොරව සියලුම සිසුන්ට තම ආගම ඉගෙනීමට ඇති අයිතිය තහවුරු කිරීම රජයේ වගකීමක් බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ. වසරකට තෙවරක් මෙවැනි සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයට සිය ස්තූතිය පළ කිරීමටද අගරදගුරු තුමෝ කටයුතු කළහ.

මෙම අවස්ථාව සඳහා කතෝලික සභාවේ රදගුරු හිමිවරුන්, පියතුමන්ලා මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version