ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානා හතරක් අලුත්වැඩියා කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබුණද, එම කටයුතු තවදුරටත් ප්‍රමාද වෙමින් පවතින බව වාර්තා වේ. මෙම යානා අලුත්වැඩියා කිරීමේ ටෙන්ඩරය බොස්නියා සහ හර්සගොවිනා රාජ්‍යයේ සමාගමකට පිරිනමා ඇති අතර, එහි දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ Securatec Lanka (Pvt) Ltd ආයතනයයි.

ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, යුද්ධය අවසානයෙන් පසු කාලීනව නිසි නඩත්තු කටයුතු සිදු නොවීම හේතුවෙන් ගුවන් හමුදාව සතු MI-17 යානා බහුතරයක් මේ වන විට ගුවන්ගත කළ නොහැකි තත්ත්වයට පත්ව ඇත. ආපදා කළමනාකරණ කටයුතු සහ සිවිල් මෙහෙයුම් සඳහා මෙම යානා අත්‍යවශ්‍ය වුවද, පවතින තාක්ෂණික සහ නියාමන ගැටලු හේතුවෙන් ඒවා යථා තත්ත්වයට පත් කිරීම අභියෝගාත්මක වී තිබේ.

මීට පෙර රුසියානු-යුක්‍රේන යුද්ධය සහ ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන් මෙම යානා අලුත්වැඩියා කිරීම සඳහා රුසියාව වෙත යොමු කිරීමට නොහැකි විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද මෙම යානා කඩිනමින් අලුත්වැඩියා කරන ලෙස උපදෙස් ලබා දී තිබිණි.

කෙසේ වෙතත්, අදාළ ජෝර්ජියානු සමාගම තාක්ෂණික කොන්දේසි සපුරා නොමැති බව පවසමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් වී තිබේ. විශේෂයෙන්ම, අදාළ රටේ ගුවන් සේවා ඒජන්සියේ නිල අනුමැතිය නොමැති වීම මෙම ගැටලුවට ප්‍රධාන හේතුවක් වී ඇති බව වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version