ආබාධිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතිය යටතේ ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ පළමු වාර්තාව සමාලෝචනය කිරීම සඳහා විශේෂ දූත පිරිසක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව ගොස් ඇත. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම දූත පිරිස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මූලස්ථානය වෙත සහභාගී වීමට නියමිතය.

මෙම සැසියේදී ශ්‍රී ලංකාව විසින් පසුගිය කාලසීමාව තුළ ආබාධිත ප්‍රජාවගේ සුබසාධනය සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ගෙන ඇති පියවර පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය. අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටින අතර, අදාළ ක්ෂේත්‍ර නියෝජනය කරන සෙසු ආයතන මාර්ගගත ක්‍රමය ඔස්සේ සැසියට දායක වනු ඇත.

සංචාරයට පෙර අදහස් දැක්වූ අමාත්‍ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ, පසුගිය මාස 18ක කාලය තුළ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීරණ රැසක් ක්‍රියාත්මක කර ඇති බවයි. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආබාධිත පුද්ගලයකු ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පත් කිරීම මෙහිදී විශේෂයෙන් සිහිපත් කෙරිණි.

තවද, ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර, සංඥා භාෂා පනත ද ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. අධ්‍යාපන, ප්‍රවාහන සහ නිවාස ඇතුළු අමාත්‍යාංශ කිහිපයක් ඒකාබද්ධව මෙම ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරමින් සිටින බවද ඔහු අවධාරණය කළේය.

මෙම ජාත්‍යන්තර කමිටු සැසිය අද (14) සහ හෙට (15) යන දෙදින තුළ පැවැත්වීමට සැලසුම් කර ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version