යාපනය කුරිකට්ටුවාන් තොටුපළේ සිට නෙඩුන්තිව් දූපත බලා ගමන් ගත් මගී බෝට්ටුවක් නයිනාතිව් ප්‍රදේශය ආසන්නයේදී අනතුරට ලක්ව තිබේ. මෙම අනතුර සිදුවන අවස්ථාවේදී බෝට්ටුවේ පිරිමි පුද්ගලයින් 8 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇත.
අනතුර පිළිබඳ තොරතුරු ලැබීමත් සමඟ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා වහාම මැදිහත් වී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත කඩිනම් සහන මෙහෙයුම් දියත් කරන ලෙස උපදෙස් ලබා දී තිබේ.
නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරට ලක්වූ මගීන් 10 දෙනාම නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි විය. බේරාගත් පිරිස වැඩිදුර ප්‍රතිකාර සඳහා නයිනාතිව් රෝහල වෙත ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා අදාළ අංශ වෙත දැනුම් දී ඇත. විශේෂයෙන්ම බෝට්ටුවේ ගමන් ගත් මගීන් සඳහා ජීවිතාරක්ෂක කබා ලබා දී තිබුණේද සහ ආරක්ෂිත ක්‍රමවේද නිසි ලෙස අනුගමනය කර තිබුණේද යන්න පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබේ.
මුහුදු මාර්ග ඔස්සේ ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට දැඩි පියවර ගන්නා ලෙසත්, මෙවැනි අනතුරු නැවත සිදුවීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
