තණමල්විල, නිකවැව, දෙමෝදර වැව ආශ්‍රිත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා හේනක් සම්බන්ධයෙන් නීතිමය පියවර නොගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක අල්ලස් මුදලක් ලබාගත් බව කියන පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මොනරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කරන මෙම නිලධාරීන් අතර පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වන බව වාර්තා වේ.
තණමල්විල පොලිසිය විසින් සිදුකළ වැටලීමකදී ගංජා හේනක් සහ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර, එහිදී අනාවරණය වූ තොරතුරු මත මෙම අල්ලස් සිද්ධිය පිළිබඳ කරුණු අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රකාශ කර ඇත්තේ, මීට පෙර එම ස්ථානයට පැමිණි මොනරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් නීතිය ක්‍රියාත්මක නොකිරීම සඳහා තමාගෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබාගත් බවයි.
එම නිලධාරීන් පිරිස එහි තිබූ ගංජා හේන් පහෙන් එකක් පමණක් විනාශ කර ඉතිරි කොටස රැගෙන ගිය බවද සැකකරු වැඩිදුරටත් පවසා ඇත. තවත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරු මත සිදුකළ වැඩිදුර විමර්ශනවලින් අනතුරුව, අදාළ පොලිස් නිලධාරීන් සිව්දෙනා තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, තණමල්විල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
