ග්‍රාම නිලධාරීන් මුහුණ දී සිටින ගැටලු සහ ඔවුන්ට හිමිවිය යුතු දීමනා සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ අවධානයක් යොමු කර තිබේ. විපක්ෂ නායක කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ඔහු අවධාරණය කළේ, රටේ සංවර්ධන වැඩසටහන් සහ ජනතා සේවා වෙනුවෙන් කැපවී කටයුතු කරන ග්‍රාම නිලධාරීන්ගේ සේවය හෑල්ලුවට ලක් නොකළ යුතු බවයි.
රජය විසින් මීට පෙර එකඟ වූ පරිදි ග්‍රාම නිලධාරීන් සඳහා ලීටර් 20ක ඉන්ධන දීමනාවක් සහ රුපියල් 750 සිට 1500 දක්වා සන්නිවේදන දීමනාව වැඩි කිරීමට ගත් තීරණ තවමත් ක්‍රියාත්මක වී නොමැති බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. 2024 වසරේ කැබිනට් පත්‍රිකාවක් මගින් අනුමත වූ නිර්දේශ පවා මෙතෙක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම බරපතළ තත්ත්වයක් බව ඔහු වැඩිදුරටත් පැවසීය.
පැය 24 පුරාම ජනතාව වෙනුවෙන් රාජකාරියේ නිරත වන ග්‍රාම නිලධාරීන්ට ආපදා සහ අවදානම් දීමනා ලබා දීමේ අවශ්‍යතාවය ද මෙහිදී මතු කෙරිණි. තම සාධාරණ ඉල්ලීම්වලට විසඳුම් නොලැබීම හේතුවෙන් ග්‍රාම නිලධාරීන් මේ වන විට ඇතැම් රාජ්‍ය වැඩසටහන්වලින් ඉවත් වීමට පවා පියවර ගෙන ඇත.
ග්‍රාම නිලධාරීන් යනු බිම් මට්ටමේ ජනතාවට සමීපතම රාජ්‍ය නිලධාරීන් බවත්, ඔවුන්ගේ සේවය ප්‍රශස්ත මට්ටමකින් පවත්වාගෙන යාමට නම් මෙම දීමනා වහාම ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. රජයේ පොරොන්දු ඉටු කරමින් මෙම නිලධාරීන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
