ජාතියේ යශෝරාවය ලෙස විරුදාවලි ලත් අග්‍රගන්‍ය ගායනවේදිනී ආචාර්ය නන්දා මාලනියගේ වියෝව සමස්ත කලා ක්ෂේත්‍රයටම මෙන්ම රසික ප්‍රජාවට ද දරාගත නොහැකි ශෝකයක් ගෙන දී ඇත. ඇයගේ ගුරු භූමිකාව සහ ඇසුර ලැබූ ප්‍රවීණ සංගීතවේදී දයාන් විතාරණ මහතා ඇය වෙනුවෙන් සංවේදී සටහනක් තබමින් සිය අතීත මතකයන් ආවර්ජනය කර තිබේ.

තමා කුඩා කල සිට ගුරුවරුන්ට ‘සර්’ හෝ ‘මැඩම්’ ලෙස ඇමතීමට පුරුදු වී සිටියද, නන්දා මාලනියගේ සංගීත ආශ්‍රමයට එක්වීමෙන් පසු ඇයව ‘නන්දා මිස්’ ලෙස ඇමතීමට හුරු වූ බවත්, අදටත් තමා ‘මිස්’ යනුවෙන් ආමන්ත්‍රණය කර ඇත්තේ ඇයට පමණක් බවත් දයාන් විතාරණ පවසයි.

1982 වසරේ ඇරඹි නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ මුල්ම සිසු පිරිස අතර සිටීම තමා ලද විශාල භාග්‍යයක් බව ඔහු සිහිපත් කරයි. පසුකාලීනව ඡායාරූප ශිල්පියෙකු ලෙස කටයුතු කරමින් සිටියදී ද, නැවත තමා සංගීතයට යොමු කිරීමට මූලික වූයේ ද ඇයගේ ඇරයුම බව ඔහු පවසයි.

පණ්ඩිත් අමරදේවයන් මැක්සියස් සම්මානය ලැබූ දිනයේ ඇය සමඟ යුග ගීතයක් ගැයීමට ලැබීම තමා ජීවිතයේ ලද ඉහළම සම්මානය ලෙස දයාන් විතාරණ සලකයි. දශක හතරකට අධික කාලයක් ඇයව ඡායාරූප ගත කිරීමට ලැබීම තමා ලැබූ භාග්‍යයක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ආචාර්ය නන්දා මාලනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සෙනසුරාදා සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය. ඇයගේ අභාවය වෙනුවෙන් දයාන් විතාරණ මහතා ඇතුළු කලාකරුවන් රැසක් සිය සාතිශය සංවේගය පළ කර තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version