ස්විට්සර්ලන්තයේ තුසිස් නගරයේ පිහිටි අවන්හලක් සහ මහල් නිවාස සංකීර්ණයක් සහිත ගොඩනැගිල්ලක හටගත් හදිසි ගින්නකින් විශාල විනාශයක් සිදුව තිබේ. ගින්න හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු අතුරුදන්ව ඇති බව බලධාරීන් තහවුරු කරයි.
පොලිස් වාර්තා සඳහන් කරන පරිදි, ගින්න ගොඩනැගිල්ලේ දෙවන මහලෙන් ආරම්භ වී ඇති අතර, එය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 100කට අධික පිරිසක් යොදවා තිබුණි. ගින්න නිවීමේ මෙහෙයුම් අතරතුර ගොඩනැගිල්ලේ පඩිපෙළ කඩා වැටීම හේතුවෙන් වහලය ඉවත් කිරීමට දොඹකරයක් භාවිත කිරීමට සිදුවිය.
මෙම අනතුරින් පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් අතරින් දෙදෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බව පැවසේ. තුවාල ලැබූවන් චූර්, තුසිස්, ඉලාන්ස් සහ සූරිච් යන නගරවල රෝහල් වෙත ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.
ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් ග්‍රැබුන්ඩන් කැන්ටනල් පොලිසිය සහ රජයේ නීතිඥ කාර්යාලය එක්ව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
