ආගමික හා සංස්කෘතික උත්සව මඟින් මෙරට අනන්‍යතාව මතු පරපුරට රැක දීමට විශාල දායකත්වයක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පෙන්වා දෙයි. ඇය මේ බව සඳහන් කළේ ඊයේ (15) දින බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ පැවති 76 වැනි වාර්ෂික ඇසළ පෙරහැර උත්සවයට එක් වෙමිනි.

මෙවැනි සංස්කෘතික පෙරහැරක් යනු හුදෙක් වර්ණවත් පෙරහැරක් පමණක් නොව, ආගමික විශ්වාසයන්, සාම්ප්‍රදායික නැටුම්, ගැයුම්, වැයුම් මෙන්ම ප්‍රජා සංස්කෘතිය එකට කැටි වූ ජීවමාන උරුමයක් බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

අතීතය ආරක්ෂා කිරීම පමණක් නොව, අනාගත පරපුරට ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාව අවබෝධ කර ගැනීමට මෙමඟින් අවස්ථාව උදා වන බව ඇය පෙන්වා දුන්නාය. එසේම, දරුවන් තුළ සංස්කෘතික උරුමයන් පිළිබඳ ගෞරවය වර්ධනය කිරීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

සාම්ප්‍රදායික කලාකරුවන්ගේ දැනුම, කුසලතා සහ සම්ප්‍රදායන් ඉදිරි පරපුර වෙත රැගෙන යාම සඳහා අවශ්‍ය රජයේ අනුග්‍රහය ලබා දීම රජයේ වගකීමක් බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය. බෙල්ලන්විල පෙරහැර සාර්ථක කර ගැනීමට දායක වූ මහා සංਘරත්නයට, දායක සභාවට, සංවිධායක මණ්ඩලයට සහ කලාකරුවන්ට අග්‍රාමාත්‍යවරිය සිය කෘතඥතාව පළ කළාය.

මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ විශාල පිරිසක් සහභාගී වූහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version