නුවරඑළිය ග්‍රෙගරි වැවේ දැනට ක්‍රියාත්මක වන බෝට්ටු සේවාවන් තුළින් සිදුවන අනතුරු අවම කරගැනීම සහ එම සේවාවන් විධිමත් කිරීම සඳහා මාස දෙකක කාලයක් ලබා දී තිබේ. නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත්තේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙනි.
පවතින දත්තවලට අනුව ග්‍රෙගරි වැවේ බෝට්ටු 129ක් සහ ජෙට්ස්කි බෝට්ටු 21ක් ධාවනය කෙරේ. කෙසේ වෙතත්, ඉන් ඇතැම් බෝට්ටු කිසිදු ලියාපදිංචියකින් හෝ රක්ෂණ සහතිකයකින් තොරව ධාවනය වන බව අනාවරණය වී ඇත. නාවික හමුදාව විසින් ද මෙම සේවාවන් පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර තිබේ.
මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ අශ්වබල 85කට වැඩි ධාරිතාවයකින් යුත් බෝට්ටු පරිසරයට හානි කරන බැවින් ඒවා ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගත යුතු බවයි. මින් ඉදිරියට නියමිත නිර්ණායකයන්ට අනුකූලව පමණක් බෝට්ටු සේවා පවත්වාගෙන යාමට නාගරික කොමසාරිස්වරයාට උපදෙස් ලබා දී ඇත.
මේ අතර, ග්‍රෙගරි වැවේ අපජල කළමනාකරණය සහ පිරිසිදු පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා රජය විසින් රුපියල් බිලියන 25ක මුදලක් වෙන් කර තිබේ. ඒ අනුව වැවේ පාලනය සහ නඩත්තු කටයුතු වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත පැවරීමට ද තීරණය වී ඇත.
