ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ, ත්‍රිකුණාමලය, නිලාවේලි ප්‍රදේශයේ නව කොරල් සංරක්ෂණ මධ්‍යස්ථානයක් සහ විද්‍යාගාරයක් ඉදිකෙරෙමින් පවතී. පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පසුගියදා මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය කළේය.

මෙම මධ්‍යස්ථානයේ ප්‍රධාන අරමුණ වන්නේ නැගෙනහිර වෙරළ තීරයේ හඳුනාගෙන ඇති කොරල් විශේෂ 245 අතුරින් දුර්ලභ ගණයේ බ්ලැක් කොරල් සහ රෙඩ් කොරල් වැනි විශේෂයන් ආරක්ෂා කිරීම සහ කෘතිමව වගා කිරීමයි. දැනටමත් මෙම වගා කිරීමේ ක්‍රියාවලිය සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇත.

විද්‍යාගාරය තුළ සාගරයේ පවතින ස්වභාවික උෂ්ණත්වය සහ පාරිසරික තත්ත්වයන් කෘතිමව ප්‍රතිනිර්මාණය කරමින් කොරල් වගා කිරීම සහ පසුව ඒවා මුහුදු පත්ලේ රෝපණය කිරීම මෙහි මූලික ක්‍රියාවලියයි. මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සැප්තැම්බර් මස අවසන් වන විට සම්පූර්ණ කිරීමට නියමිතය.

අනාගතයේදී මෙම මධ්‍යස්ථානය විශ්වවිද්‍යාල සිසුන්, පර්යේෂකයන් සහ මහජනතාව සඳහා කොරල් කෞතුකාගාරයක් ලෙස විවෘත කිරීමට සැලසුම් කර ඇත. දේශගුණික විපර්යාස හමුවේ සාගර සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීම සහ අනාගත පරපුර උදෙසා ස්වභාවික පරිසර පද්ධති සුරක්ෂිත කිරීම රජයේ ප්‍රධාන අපේක්ෂාවයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version