කර්ණාටක සංගීත ලෝකයේ අමරණීය නාමයක් වන එම්.එස්. සුබ්බුලක්ෂ්මිගේ ජීවිතය අලලා නිර්මාණය කෙරෙන චරිතාපදාන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා ජනප්‍රිය නිළි රශ්මිකා මන්දන්නා තෝරාගෙන ඇති බව වාර්තා වේ.

මෙම චරිතය සඳහා මීට පෙර සයි පල්ලවි සහ රුක්මණී වසන්ත ඇතුළු නිළියන් කිහිපදෙනෙකුගේ නම් යෝජනා වී තිබුණද, අවසානයේ නිෂ්පාදක මණ්ඩලය රශ්මිකා වෙත අවස්ථාව ලබා දී තිබේ. ගෞතම් තින්නනුරි විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම චිත්‍රපටය පිළිබඳ නිල නිවේදනය සැප්තැම්බර් 16 වැනිදාට යෙදෙන සුබ්බුලක්ෂ්මිගේ උපන්දිනය දා නිකුත් කිරීමට නියමිතය.

සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතයක් වන සුබ්බුලක්ෂ්මිගේ පෞරුෂය සහ ඇයගේ සන්සුන් ස්වභාවය තිරය මත මූර්තිමත් කිරීම රශ්මිකාට හිමිවන විශාලතම අභියෝගය වනු ඇතැයි සිනමා විචාරකයෝ පවසති. මෙය ඇයගේ රංගන දිවියේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් වනු ඇති බවටද මත පළ වේ.

මෙතෙක් නමක් තීරණය කර නොමැති මෙම චිත්‍රපටයේ කතා තේමාව හෝ සෙසු රංගන ශිල්පීන් පිළිබඳ වැඩිදුර තොරතුරු තවමත් අනාවරණය වී නොමැත. රශ්මිකා මන්දන්නා මීට පෙර ‘කොක්ටේල් 2’ චිත්‍රපටයෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් අතර, ඉදිරියේදී ඇය රංගනයෙන් දායක වන තවත් චිත්‍රපට කිහිපයක්ම තිරගත වීමට නියමිතව ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version