ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බළකායේ දසවන බඳවා ගැනීමේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නිලධාරීන් තිදෙනෙකු සහ නාවිකයින් තිස්තුන්දෙනෙකු විසිර යාමේ උත්සවය ඊයේ (29) ත්‍රිකුණාමලය, සාම්පූර්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේදී පැවැත්විණි.

මාස අටක කාලයක් පුරා පැවති අතිදුෂ්කර පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කළ මෙම සාමාජිකයින් වෙත මැරීන් බළඇණි ලාංඡන පැළඳවීම සිදු කෙරුණේ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම පුහුණුවේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ සාමාජිකයින් ඇගයීමද මෙහිදී සිදු විය. ඒ අනුව, දසවන මැරීන් බළඇණි පාඨමාලාවේ විශිෂ්ටතම සාමාජිකයා, වැඩිම ලකුණු ලබාගත් සාමාජිකයා සහ දක්ෂතම ඉලක්කකරු ලෙස ලුතිනන් (සැ) විපීඒ සසංක මහතා සම්මාන දිනා ගත්තේය. දක්ෂතම ශාරීරික යෝග්‍යතාව හිමි සාමාජිකයා ලෙස ශාරීරික අභ්‍යාසක ඩබ්.එම්.ජී.ඩී.පී. බණ්ඩාර මහතා සම්මාන ලැබීය.

උත්සවය අමතමින් රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මහතා සඳහන් කළේ, මව්බිමේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව සුරැකීම වෙනුවෙන් මෙම පුහුණුවෙන් ලද පන්නරය උපයෝගී කර ගන්නා ලෙසයි. ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානමින් සිටින ලෙසත්, නිරන්තරයෙන් දැනුම යාවත්කාලීන කර ගනිමින් රාජකාරියේ නියැලෙන ලෙසත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නියෝජිතයින් මෙන්ම විසිර ගිය සාමාජිකයින්ගේ දෙමාපියන්ද එක්ව සිටියහ. නාවික හමුදා මැරීන් බළකායේ හැකියාවන් විදහා දැක්වෙන ආකර්ෂණීය සංදර්ශනයකින් උත්සවය වර්ණවත් විය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version