ග්‍රාමීය කෘෂිකාර්මික ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක බැංකු මූල්‍ය ආධාර යටතේ නව වාරි ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන 2029 වසර දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 5.8කට අධික මුදලක් වෙන් කර ඇති අතර, ගොවි ජනතාවගේ වාරි ජල අවශ්‍යතා සපුරාලීම සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මෙහි මූලික අරමුණ වේ. දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන පරිදි වැව් පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම තුළින් ගොවීන්ට විශ්වාසදායක ජල සැපයුමක් ලබාදීමට අපේක්ෂා කෙරේ.
මෙම වැඩසටහනේ ප්‍රධාන අදියර දෙකක් යටතේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරේ. ඒ අනුව, පොළොන්නරුව, හම්බන්තොට සහ යාපනය දිස්ත්‍රික්කවල වැව් 6ක් සංවර්ධනය කෙරෙන අතර, හදිසි අවස්ථා ප්‍රතිචාර සංරචකය යටතේ දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ දිස්ත්‍රික්ක 18ක වැව් 290ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන ඇත.
විශේෂයෙන්ම බදුල්ල, රත්නපුර, මන්නාරම, කුරුණෑගල, මහනුවර සහ වවුනියාව යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරේ. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික දායකත්වය සහ ප්‍රාදේශීය ගොවි සංවිධානවල සහභාගීත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
