අතුරුගිරිය, මලවියාකන්ද පාර ප්‍රදේශයේදී පසුගිය අගෝස්තු 17 වන දින පුද්ගලයෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි ගංගොඩවිල, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය පළමුවන දින දහවල් කාලයේදීය.

සැකකරුගේ නිවසේ සිදුකළ සෝදිසියකදී එම අපරාධය සඳහා යොදාගත් බවට සැක කෙරෙන ව්‍යාජ අංක තහඩු සවිකළ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන තිබේ. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම අපරාධය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවා ඇති බවයි.

මෙම යතුරුපැදියේ තිබී සොයාගත් ව්‍යාජ අංක තහඩු, දෙහිවල සහ ගල්කිස්ස ප්‍රදේශවල මීට පෙර සිදුවූ වෙඩි තැබීම් සහ පහරදීමේ සිද්ධීන් කිහිපයක් සඳහා යොදාගත් යතුරුපැදිවල ද සවිකර තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇත.

බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version