විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින උග්‍ර ගැටලු සඳහා රජය විසින් ස්ථීර විසඳුම් ලබා දීමට අපොහොසත් වීම හේතුවෙන් අද (02) දිනයේදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පියවර ගෙන තිබේ.

මෙම විරෝධතාව අද දිවා විවේක කාලය තුළ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බව එම සම්මේලනයේ ලේකම්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිහ මහතා සඳහන් කළේය. සිය ඉල්ලීම් සඳහා සාධනීය විසඳුම් නොලැබුණහොත් ඉදිරි සතියේදී විරෝධතා තවදුරටත් තීව්‍ර කරන බවද ඔහු අනතුරු අඟවයි.

රජය බලයට පත්වීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලු පිළිබඳව යෝජනාවලියක් භාර දී සාකච්ඡා පැවැත්වුවද, එකඟතා ක්‍රියාත්මක නොවීම ගැටලුවක් බව ආචාර්යවරු පෙන්වා දෙති. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය වෙත ලිඛිතව කරුණු දැනුම් දුන්නද මෙතෙක් විසඳුම් ලැබී නොමැති බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින අර්බුද හේතුවෙන් ආචාර්යවරුන් විශාල පිරිසක් සේවය හැර ගොස් ඇත. 2015 වසරේදී 5,800ක්ව පැවති ආචාර්යවරුන් සංඛ්‍යාවෙන් 1,000කට ආසන්න පිරිසක් මේ වන විට සේවයෙන් ඉවත් වී ඇති අතර, වාර්ෂික ශිෂ්‍ය බඳවා ගැනීම් 25,000 සිට 45,000 දක්වා ඉහළ යාම නිසා විශ්වවිද්‍යාල පද්ධතිය දැඩි පීඩනයකට ලක්ව ඇති බවද වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version