ගම්පහ මහා නගර සභාව විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික සාහිත්‍ය උළෙල, “සංස්කෘතික පුරවැසියා සොයා යාම” තේමාව යටතේ පසුගියදා උත්කර්ෂවත් ලෙස ආරම්භ කෙරිණි. මෙම උත්සවය බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගම්පහ මහා නගර සභාවේ යක්කල උප කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම සාහිත්‍ය උළෙල සැප්තැම්බර් 06 වනදා දක්වා පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා මහජනතාව සඳහා විවෘතව පවතී. ගීතය, කවිය, සිනමාව සහ වේදිකා නාට්‍ය ඇතුළු විවිධ කලාංගයන් ඔස්සේ විද්වත් සාකච්ඡා මණ්ඩප සහ පොත් ප්‍රදර්ශන කුටි රැසක් මෙහිදී දැකගත හැකිය.

සමාරම්භක උත්සවයේදී අන්තර් පාසල් සාහිත්‍ය තරගවලින් ජයග්‍රහණය ලැබූ සිසු දරුවන් ඇගයීමට ලක් කරමින් ඔවුන් වෙත සහතිකපත් සහ සම්මාන ප්‍රදානය කිරීමද සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේමාලි වීරසේකර, රුවන් මාපලගම, ලසිත් භාෂණ, ගම්පහ නගරාධිපති එරික් එදිරිවික්‍රම ඇතුළු මහත්ම මහත්මීන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version