එයාර් බස් ගනුදෙනුවට අදාළව සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (04) අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ඔහුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

අධිකරණයේදී කරුණු දක්වමින් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා සඳහන් කළේ, මෙම ගනුදෙනුවට අදාළව සැකකරු කෝටි 10ක මුදලක් ලබාගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි. සිද්ධියට අදාළ විමර්ශන අවසන් අදියරේ පවතින බැවින් සැකකරුට ඇප ලබා දීමට විරුද්ධ වන බවද ඔහු අධිකරණයට දන්වා සිටියේය.

මෙම ගනුදෙනුවට අදාළව ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, සිංගප්පූරුව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල්වල සහාය ඇතිව පුළුල් විමර්ශනයක් සිදු කර ඇති බව සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ එයාර් බස් සමාගම අතර ගිවිසුමකට අදාළව සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මෙම විමර්ශන ක්‍රියාත්මක වේ.

මහෙස්ත්‍රාත්වරයා නියෝගය ලබාදෙන අවස්ථාවේදී අධිකරණ පරිශ්‍රය අසල නාමල් රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් විශාල පිරිසක් රැස්ව සිටි අතර ඔවුන් විවිධ සටන් පාඨ ප්‍රකාශ කරමින් සිය විරෝධය පළ කරන අයුරු දක්නට ලැබිණි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version