වියට්නාමයේ නා ට්‍රැන්ග් නගරයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැති 2026 ලෝක රූ රැජින තරඟාවලියේ කිරුළ දිනා ගැනීමට ඩොමිනිකන් ජනරජයේ ජොහයිරි මෝලා සමත් විය. ලොව පුරා රටවල් 111ක් නියෝජනය කරමින් පැමිණි තරඟකාරියන් අභිබවා යමින් ඇය මෙම ජයග්‍රහණය හිමිකර ගත්තේය.
තරඟයේ අවසන් අදියරේදී ස්පාඤ්ඤයේ එලිසබෙත් රෙයින්ස් පළමු අනුශූරිය ලෙසත්, මැලේසියාවේ ටනුසියා චෙට්ටි දෙවන අනුශූරිය ලෙසත් තේරී පත්වූහ. වත්මන් ලෝක රූ රැජින වන තායිලන්තයේ ඕපල් සුචාටා චුවාංස්රි විසින් නව රූ රැජිනට කිරුළ පළඳවනු ලැබීය.
මෙවර තරඟාවලිය සඳහා ප්‍රංශ ගයනා, එරිත්‍රියාව, මොසැම්බික්, පකිස්ථානය සහ මාලදිවයින යන රටවල් පළමු වරට එක්වීම විශේෂත්වයක් විය. තරඟකාරියන්ගේ දක්ෂතා ඇගයීම සඳහා මූලික අභියෝග, සම්මුඛ සාකච්ඡා සහ වේදිකා ඉදිරිපත් කිරීම් ඇතුළු අදියර කිහිපයක් ක්‍රියාත්මක කෙරිණි.
අවසන් තරඟකරුවන් හය දෙනා අතරට එරිත්‍රියාව, ස්පාඤ්ඤය, මැලේසියාව, වියට්නාමය, ඩොමිනිකන් ජනරජය සහ දකුණු අප්‍රිකාව යන රටවල නියෝජිතවරියන් ඇතුළත් වූහ. මීළඟ 74 වන ලෝක රූ රැජින තරඟාවලිය ටැන්සානියාවේදී පැවැත්වීමට නියමිත බව සංවිධායකයින් නිවේදනය කර ඇත.
