ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය භූතානයේ පැවැත්වෙන ප්‍රථම ගෝලීය සවිඥානික ආහාර පද්ධති සමුළුවට (Global Conscious Food Systems Summit) සහභාගී වීම සඳහා අද (31) පාරෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියාය.

අගෝස්තු 31 සිට සැප්තැම්බර් 04 දක්වා භූතානයේදී පැවැත්වෙන මෙම සමුළුව, තිරසාර සහ සාධාරණ ආහාර පද්ධති උදෙසා මිනිස් සවිඥානිකත්වය, සංස්කෘතිය සහ අධ්‍යාත්මික වටිනාකම්වල දායකත්වය පිළිබඳව අවධානය යොමු කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කර ඇත.

භූතාන රජය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ සවිඥානික ආහාර පද්ධති සන්ධානය (CoFSA) එක්ව මෙම සමුළුව සංවිධානය කර තිබේ. එහිදී අග්‍රාමාත්‍යවරිය විසින් සැප්තැම්බර් 01 වන දින පැවැත්වෙන සමුළුවේ සමාරම්භක සැසියේදී විශේෂ දේශනයක් සිදු කිරීමට නියමිතය.

සිය සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය භූතාන අග්‍රාමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව සහ භූතානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ තිරසාර ආහාර පද්ධති පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීම් ලෝකය සමඟ බෙදාහදා ගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version