ඉන්දුනීසියාවේ පිහිටි අනක් ක්‍රකටෝවා ගිනිකන්දේ හදිසි පිපිරීම් මාලාවක් හේතුවෙන් එරට ප්‍රධාන ගුවන්තොටුපළවල් අටක් තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ. ගිනිකන්දෙන් පිටවන අළු සහ දූවිලි පටල හේතුවෙන් ගුවන් ගමන් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට ගුවන් ගමන් 1,558ක් පමණ අවලංගු වී හෝ ප්‍රමාද වී ඇති බව වාර්තා වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මගීන් 170,000කට අධික පිරිසක් ගුවන්තොටුපළවල් තුළ අතරමං වී සිටින අතර, ඔවුන් විකල්ප ගුවන් ගමන් සොයා දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජකර්තා අගනුවර ඇතුළු බලපෑමට ලක්වූ ප්‍රදේශවල පාසල්වල අධ්‍යාපන කටයුතු ද තාවකාලිකව මාර්ගගත (Online) ක්‍රමයට සිදු කිරීමට බලධාරීන් තීරණය කර ඇත. ගිනිකන්දේ ක්‍රියාකාරීත්වය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බැවින්, කාලගුණික තත්ත්වය මත ගුවන්තොටුපළවල් යළි විවෘත කරන දිනයක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ප්‍රවාහන අමාත්‍ය ඩූඩි පූර්වගන්ධි මහතා ප්‍රකාශ කළේය.
භූ විද්‍යා ඒජන්සිය පවසන්නේ ඉදිරි දිනවලදීත් ගිනිකන්දේ පිපිරීම් සිදුවීමේ අවදානමක් පවතින බවයි. ජකර්තා සහ අවට ප්‍රදේශවල ගුවන් කලාපය තුළ අළු තැන්පත්වීම තවමත් පවතින බැවින් ආරක්ෂක පියවරයන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කටයුතු යොදා තිබේ.
