ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ඩිලි නුවරදී ආරම්භ විය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් අධානොම් ගෙබ්‍රියේසස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව ආරම්භ කෙරිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටිති. ඉකුත් වසරේ කොළඹදී පැවති 78 වන සැසියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අමාත්‍යවරයා, මෙහිදී සමාරම්භක උත්සවය අමතමින් කලාපීය සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.
ජනගහනය වයස්ගත වීම, බෝ නොවන රෝග, බෝවන රෝග සහ දේශගුණික විපර්යාස වැනි අභියෝග හමුවේ රටවල් එකිනෙකාගේ අත්දැකීම් හුවමාරු කර ගැනීම අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. කිසිදු රටකට තනිව සියලු ගැටලුවලට පිළිතුරු ලබා දිය නොහැකි බැවින්, සාමූහික ක්‍රියාමාර්ගවල අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය.
මූල්‍ය දුෂ්කරතාවකින් තොරව සෑම පුරවැසියෙකුටම ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා ගත හැකි පසුබිමක් සැකසීම සියලු රටවල පොදු අපේක්ෂාව විය යුතු බව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේය.
