එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර උළෙලට එක්වෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය. ආණ්ඩුවට හිතවත් නොවන වෘත්තීය සමිති මර්දනය කිරීම සහ දේශපාලන විරුද්ධවාදීන් හේතු රහිතව අත්අඩංගුවට ගැනීම වැනි ක්‍රියාමාර්ග හරහා ජනතා පරමාධිපත්‍යයට බරපතල තර්ජනයක් එල්ල වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ කණ්ඩායම්වලට විවිධ බාධාවන් එල්ල කිරීම සහ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරකම් සීමා කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. නීතිඥ සංගමය සහ වෛද්‍යවරුන් වැනි වෘත්තීය කණ්ඩායම්වලට එරෙහිව සිදුකරන ප්‍රහාරයන් ද ඔහු දැඩි ලෙස හෙළා දුටුවේය.

එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර උත්සවයට ආරාධනා කර සිටි නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපතිවරයා සිය විරෝධය පළ කළේය. රටේ පරමාධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ආරක්ෂා කර ගැනීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක්විය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට එක්වූ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, රට ගොඩනැගීම සඳහා සියලු පාර්ශවයන් එක්විය යුතු කාලය එළඹ ඇති බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ද එක්සත් ජාතික පක්ෂය මෙරට ආර්ථික සංවර්ධනයට ලබාදුන් දායකත්වය සිහිපත් කරමින් අදහස් දැක්වීය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version