එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි වාර්ෂික සැසිවාරය අද (07) ජිනීවා නුවරදී ආරම්භ වේ. මෙම සැසිවාරය ලබන ඔක්තෝබර් 07 වැනිදා දක්වා මාසයක කාලයක් පුරා පැවැත්වීමට නියමිතය.
ඉන්දුනීසියානු තානාපති සිද්ධාර්ථ රේසා සූර්යෝඩිපුරෝගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන මෙම සැසිවාරයේ සමාරම්භක දේශනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් විසින් සිදු කිරීමට නියමිතව ඇත.
මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ ප්‍රයත්නයන් පිළිබඳව මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කළ ලිඛිත වාර්තාවක් සමාලෝචනය කෙරේ. 2025 ඔක්තෝබර් සිට 2026 ජූලි දක්වා කාලසීමාව ආවරණය වන පරිදි මෙම වාර්තාව සකස් කර ඇත.
අදාළ වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී පියවරයන් සහ පසුගිය කාලයේ සිදුවූ විමර්ශන සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ. කෙසේ වෙතත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් නිරීක්ෂණයට ලක්වීම වැනි කරුණු සම්බන්ධයෙන් ද එහි විවේචනාත්මක කරුණු ඇතුළත් වේ.
රට තුළ පවතින දණ්ඩමුක්තියේ සංස්කෘතිය අවසන් කිරීම සඳහා රජය තවදුරටත් ක්‍රියාශීලී විය යුතු බව මානව හිමිකම් කවුන්සිලය මෙහිදී අවධාරණය කරයි. මාසයක් පුරා පැවැත්වෙන මෙම සැසිවාරයේදී විවිධ විශේෂඥ වාර්තා සහ අන්තර්ක්‍රියාකාරී සාකච්ඡා 37ක් පැවැත්වීමට නියමිතය.
