ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණයේ 30 වන සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නිලධාරීන් තිදෙනෙකු සහ නාවිකයින් තිස් දෙනෙකු වෙත නිල ලාංඡන පැළඳවීමේ උත්සවය පසුගියදා පුත්තලම, ගඟේවාඩිය පිහිටි එම බළඝණ මූලස්ථානයේදී පැවැත්විණි. නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය අභිමානවත් අයුරින් සංවිධානය කර තිබුණි.
මාස හයක කාලයක් පුරා පැවති මෙම දැඩි පුහුණු පාඨමාලාව තුළදී, කුඩා යාත්‍රා මෙහෙයුම් මෙන්ම හදිසි ආපදා තත්ත්වයන්හිදී මානුෂීය සහන සැලසීම සහ සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුම් පිළිබඳව නවක සාමාජිකයින් වෙත පුළුල් ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුමක් ලබා දෙන ලදී.
උත්සවයේදී පුහුණු කාලසීමාව තුළ ඉහළම දක්ෂතා දැක්වූ නිලධාරීන් සහ නාවිකයින් වෙත විශේෂ සම්මාන පිරිනැමීම සිදු විය. එහිදී ලුතිනන් අයි.ඩී.එල්.එස්. මධුවාස දක්ෂතම යාත්‍රා හසුරවන්නා සහ විශිෂ්ඨතම පුහුණුවන්නා ලෙස සම්මාන දිනාගත් අතර, බල නැවි සී.කේ.ටී. චන්ද්‍රසේකර දක්ෂතම ජීවිතාරක්‍ෂකයා ලෙසත්, සාමාන්‍ය නැවි ඩී.එම්.ඊ.වී. දිසානායක හොඳම ශාරීරික යෝග්‍යතාවය සහිත පුහුණුවන්නා ලෙසත් සම්මාන හිමිකර ගත්හ.
උත්සවයේදී අදහස් දැක්වූ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා මහතා, ජාතික ආරක්ෂාව මෙන්ම ජාතික සංවර්ධන සහ ආපදා කළමනාකරණ කටයුතු සඳහා නාවික හමුදාව සතු වගකීම සිහිපත් කළේය. විශේෂයෙන්ම පසුගිය කාලයේ ඇති වූ ආපදා තත්ත්වයන්හිදී බළඝණය සිදු කළ සේවය අගය කළ ඔහු, නව සාමාජිකයින්ට ලැබුණු දැනුම රටේ සුබසිද්ධිය වෙනුවෙන් උපරිමයෙන් යොදා ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නේය.
උත්සවයට සමගාමීව, පුහුණුව ලැබූ සාමාජිකයින් විසින් කුඩා යාත්‍රා උපයෝගී කරගනිමින් සතුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ සහ ආපදා සහන මෙහෙයුම්වල නිරත වන අයුරු ප්‍රදර්ශනය කළ අතර, ඊට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක්ද එක්වී සිටීම විශේෂත්වයක් විය.
